Saturday 27th of April 2024

English Tamil
Advertiesment


බාබර්ගේ මුක්කුව පාකිස්තානය නැඟිටුවයි


2022-07-18 7815

 

ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව ලකුණු 40ක් ඉදිරියෙන්

 

සිය මංගල ටෙස්ට් තරගයද ඇතුළුව පිට පිට ඉනිම තුනකදී කඩුලු 5ක් බැගින් බිඳ හෙළූ ප්‍රභාත් ජයසූරිය ගාලු පිටියේදී පාකිස්තානයට එරෙහිව අනගි පන්දු යැවීමක නිරත වුවද තම අත්දැකීම් ඇසුරෙන් කඩා වැටුණ ඉනිමට සවිමත් මුක්කුවක් වූ පාකිස්තාන නායක බාබර් අසාම් 7 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 218ක් එක් කළේය. එබැවින් පාකිස්තානය පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 4ක් පසුපසින් සිටියේය.

එම සුළු වාසියත් සමඟ ශ්‍රී ලංකාව කඩුලු 9ක් අතැතිව දැන් ලකුණු 40ක් ඉදිරියෙන් සිටී. ඊයේ දෙවැනි දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුල්ලක් බිඳ වැටී ලකුණු 36ක් රැස් කර සිටි අතර, ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 17ක් හා ‘නයිට් වොච්මන්’ ලෙස පිටිය පිවිසි කසුන් රාජිත නොදැවී ලකුණු 3ක් රැස් කර සිටිති. නායක දිමුත් කරුණාරත්න ලකුණු 16කට දැවී ගියේ මොහොමඩ් නවාස්⁣ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ලට නසීම් ෂා සමග එක්ව බාබර් අසාම් ලකුණු 70ක සම්බන්ධතාවක් ගොඩනැඟීම ඉනිම ඔසවා තැබීමට ඉවහල් වූ ප්‍රධානතම සාධකය වූ අතර, එය ගාලු පිටියේ 10 වැනි කඩුල්ලට වාර්තා වූ හොඳම ලකුණු සබඳතාව ලෙස වාර්තා පොත අලුත් කළේය.

අංක දෙක පිතිකරු ලෙස පිටියට පිවිසි බාබර් අසාම්ගේ දෑස් ඉදිරිපිටදීම අනෙක් අන්තයේ පාකිස්තානුවන් එකා පිට එකා දැවී යද්දී ඔහු නිසොල්මනේ රට වෙනුවෙන් තම යුතුකම ඉටු කළේය. පාකිස්තාන 7 වැනි කඩුල්ල ලකුණු 85දී බිඳ වැටී අසරණ තත්ත්වයක පත්ව සිටි අතර, එවිට බාබර් අසාම් නොදැවී ලකුණු 28ක් රැස් කර සිටියේය. ඔවුන්ගේ අවසන් පිතිකරුවන් තිදෙනා සමඟින් එක්ව පාකිස්තානු පිල යම් මට්ටමකට ඔසවා තබන්නට බාබර් අසාම්ට හැකියාව ලැබිණි. එහෙත් අවසන් කඩුල්ල බිඳ ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා පිල බොහෝ වේලා ලතැවිල්ලෙන් පසු විය. 9 වැනි කඩුල්ල ලකුණු 148දී බිඳ වැටුණු අතර, ඒ වන විට බාබර් නොදැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 55කි. එතැන් සිට කඩුල්ල ආරක්ෂා කර ගනිමින් බාබර් ආදර්ශවත් පිතිකරණයක් දියත් කළේය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 222ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 76කින් දායක විය. මෙයට දින කිහිපයකට උඩදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කළ චන්දිමාල් හොඳ විශ්වාසයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි. පන්දු යවන්නකු ලෙස එක් වූ මහීෂ් තීක්ෂණ පිත්තෙන් වැඩ පෙන්වමින් පන්දු 65කදී මිනිත්තු 102ක කාලයක් කඩුල්ලේ සිට හතරේ පහරක් ද සමඟ ලකුණු 38ක් රැස් කර ගත්තේය.

පෙරේදා තරගයේ පළමු දිනය නිමාවෙද්දී කඩුලු 2කට ලකුණු 24ක් රැස් කර සිටි පාකිස්තානය ඊයේ දෙවැනි දිනය ආරම්භයේ පළමු පන්දුවේදීම ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට අසාර් අලී ‘ෂෝට් එක්ස්ට්‍රා කවර්’හී සිටි නායක දිමුත් කරුණාරත්න අතට පහසු උඩපන්දුවක් දුන්නද එය දිමුත් අතින් ගිලිහිණි. එහෙත් තවත් පන්දු 2කින් අනතුරුව එම ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අසාර් අලී ලකුණු 3කට දැවී ගියේය.

පාකිස්තානය අමාරුවේ දැමූ ප්‍රභාත් ජයසූරිය පිට පිටම යැවූ පන්දු දෙකකින් මොහොමඩ් නවාස් සහ ශහීන් ෂා අෆ්රිඩි දැවී ගියහ. ඔහුට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට තිබූ අවස්ථාව යසීර් ෂා විසින් වළක්වාලනු ලැබීය. පාකිස්තාන ඉනිමේ පිතිකරුවන් 6ක්ම ලකුණු 5ට වඩා වැඩියෙන් රැස් කර ගැනීමට සමත් වූයේ නැත. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 82කට කඩුලු 5ක් බිඳ හෙළා ගනිද්දී රමේෂ් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ කඩුලු 2ක බැගින් බිඳ දැමූහ.

Advertiesment